| |
| |
ජනපති තානාපතිවරුන්ගෙන් ආකල්ප වෙනසක් ඉල්ලයි |
|
|
2012-07-07
[භාතිය අර්ථනායක]
මෙරට රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරීන්ගේ ප‍්‍රවේශයන් සහ ආකල්පවල වෙනසක් සිදුවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වන නොයෙකුත් අභියෝග හමුවේ එවැනි වෙනසක් අත්‍යවශ්‍ය වන බවයි. මෙරට දුත මණ්ඩලයන්හී කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් සඳහා දියතලාව යුද හමුදා ශ‍්‍රවණාගරයේදී අද දෙදින වැඩමුළුවක් ආරම්භ වුණා. ඊට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර සිටියා.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යුද්ධය ජය ගනිමින් රජය තරගාවලියේ අඩක් ජයගත් බවයි. ඉතිරි අඩ ජයග‍්‍රහණය කරවීමට නම් එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්පෝරාව ජාත්‍යන්තරය සමඟ එක්ව කරන බලපෑම පරාජය කළ යුතු බවයි ඔහු කියා සිටියේ. මෙහිදී රට පිළිබඳ කෙරෙන සාවද්‍ය ප‍්‍රචාරයන්ට නිසි පිළිතුරු ලබාදිය යුතු බවද අවධාරණය කෙරුණා. මේ සඳහා පැරණි තානාපති ක‍්‍රමවේදවලින් බැහැරවීම අත්‍යවශ්‍ය වනවා. තමන් රාජකාරී කරන විදේශ රටවල ව්‍යාපාරික ප‍්‍රජාව හා සෙසු ජනතාව සමඟ එක්ව රටට ඵලදායි ව්‍යාපෘති සකස් කිරීම ඉහළ වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
මේ අනුව ඉදිරියේදී තානාපති කාර්යාල වෙත ප‍්‍රවර්ධන ඉලක්ක සැපයීමට අපේක්ෂා කරන බව මෙහිදී හෙළි කෙරුණා. තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් රට වෙනුවෙන් දෙන නායකත්වය ඒ හරහා පසුව ඇගයීමට ලක් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.
|
|
| |
|
|
|
|
|
|
|